VPN, එහෙමත් නැතිනම් Virtual Private Network එකක් වැඩකරන හැටි සරළව තේරුම්ගනිමු

 📝Technology Knowledge Store:

VPN, එහෙමත් නැතිනම් Virtual Private Network එකක් වැඩකරන හැටි සරළව තේරුම්ගනිමු

August 17, 2021


VPN කියන්නේ මේ දවස් වල හැමෝම භාවිතා කරන දෙයක් වුණත් ගොඩ දෙනෙකුට තමන් මේ භාවිතා කරන දේ පිළිබඳව වත්, ඒක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැනවත් ලොකු අවබෝධයක් නැති බව දකින්නට ලැබෙනවා.

මුලින්ම දැනගන්න ඕන කාරණා කිහිපයක් තියනවා. ඒ තමයි අන්තර්ජාලයට සම්බන්ධ වුණ විට ඔබව uniquely හඳුනාගන්න පුළුවන් වෙන IP Address එකක් ඔබට ලැබෙනවා. ඒ වගේම අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙන හැම Server එකකටම, හැම Device එකකටම මේ වගේ IP Address එකක් තියෙනවා.


හිතන්න ඔබ YouTube වෙබ් අඩවියට පිවිසෙන අවස්ථාව. එහිදී ඔබ විසින් ඔබේ browser එකේ YouTube.com වෙබ් ලිපිනය ඇතුලත් කර enter button එක press කළ විට ඒ වෙබ් ලිපිනයට අදාල Server එකට ගිහින් YouTube වෙබ් අඩවියේ දත්ත ඔයා ලඟට අරගෙන එන්න ඕන.


අන්න ඒ දේ කරන්න නම්, මේ YouTube වෙබ් අඩවිය තියන Server එකේ IP Address එක අපි දැනගෙන ඉන්න ඕන. මේ හැම වෙබ් අඩවියකම IP Address සහ Domain name තියෙන ප්‍රධාන Servers කිහිපයක් තියනවා. ඒවා තමයි DNS Servers කියලා හඳුන්වන්නේ.


ඉතින් Browser එකෙන් මුලින්ම ගිහින් මේ DNS Server එකෙන් අහනවා, youtube.com කියන domain එකට අදාල IP Address එක මොකක්ද කියලා. 


එතනින් ඒ IP Address එක අරගෙන ඊළඟට අපි කෙලින්ම අදාල IP Address එකට (ඒ කියන්නේ YouTube වෙබ් අඩවිය තියෙන server එකට) request එකක් යවලා අපිට ඕන කරන දත්ත ලබා ගන්නවා.


මේ විදිහට අපි යවන හැම request එකකම, Source IP Address එක (ඒ කියන්නේ අපේ IP Address එක) සහ Destination (ගමනාන්තයේ, ඒ කියන්නේ බොහෝ විට අදාල Server එකේ) IP Address එක අන්තර්ගත වෙනවා.


මෙම ක්‍රියාවලියේදී සංසරණය වන දත්ත අතර ඔබගේ පරිගණකයේ හෝ ජංගම දුරකතනයේ IP ලිපිනය, Passwords, Credit Card Details වගේම ඔබව හදුනාගත හැකි විස්තර බොහොමයක් අන්තර්ගත වෙනවා.


එම තොරතුරු ඔස්සේ ඔබ කවුද යන වග මෙන්ම ඔබ සිටින ස්ථානය පවා හදුනාගත හැකි වෙනවා. මේ තොරතුරු හැකර්වරයෙක් අතට පත් වුවහොත් ඔහුට ඔබ ලෙස පෙනී සිටිමින්, විවිද ආකාරයේ ක්‍රියාකාරකම් අන්තර්ජාලය තුලදී සිදුකිරීමේ හැකියාව පවතී.


ඉතින් අපි මේ සංසරණය කරනු ලබන දත්ත වෙනත් කෙනෙකුට බළාගන්න බැරි වෙන විදිහට හුවමාරු කරගන්න ක්‍රමයක් තියනවා නම් ඒක ඉතාමත් ආරක්ෂිතයි නේද? අන්න ඒ දේ කරන්න තමයි මේ VPN එකක් ඕන වෙන්නේ.


ගොඩක් වෙලාවට VPN එකක් ගැන පැහැදිළි කරන්න කිවුවම ගොඩ දෙනෙක් කියන්නේ අපි ඉන්න තැන ඉඳන් Server එකට Tunnel එකක්, එහෙමත් නැතිනම් බටයක් වගේ connection එකක් හැදෙනවා, ඒක ඇතුලින් යන දත්ත කාටවත් බලන්න බෑ කියන කතාව. අපි බළමු ඒ කතාව කොයි තරම් දුරට ගැලපෙනවාද කියන එක ගැන.


ඇත්තටම VPN එකක Server එක සහ Client එක වශයෙන් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මේ අතරින් ඔයා ඔය දැන් භාවිතා කරන Software එකට කියන්නේ VPN Client එක කියලයි. ඔයාගේ VPN Client එක හරහා ඔයා සම්බන්ධ වෙන්නේ VPN Server එකටයි. අදාල Server එක පිහිටලා තියෙන රට තමයි ගොඩක් Client වලදි ඔයාට තෝරගන්න හැකියාව ලබා දෙන්නේ.


අපි අර කලින් කතා කරපු Request ටික මේ VPN Client එකෙන් Encrypt, එහෙමත් නැතිනම් කාටවත් තේරුම් ගන්න බැරි සංකේත සහ අකුරු ගොඩකට convert කරනවා. ඊට පස්සේ මේ දත්ත ටික සාමාන්‍යය දත්ත හුවමාරු කරන විදිහටම ISP හරහා VPN Server එකට යනවා.


මේ විදිහට මේ දත්ත ටික VPN Server එකට ගිය විට, මේ Server එකට පුළුවන් ආයෙත් අර අකුරු සහ සංකේත ටික භාවිතා කරලා මුලින්ම තිබුණු දත්ත ටික ප්‍රතිනිර්මාණය කරගන්න.


දැන් ඔයාලට එන ප්‍රධාන ප්‍රශ්නය වෙන්නේ, Server එකට පුළුවන් නම් සංකේත ටික දත්ත කරන්න, ඇයි මග ඉන්න ISP ට හරි, Hacker කෙනෙකුට හරි ඒකම කරන්න බැරි? මේකට හේතුව මේ දත්ත Encrypt කරන්නේ Key දෙකක් භාවිතා කරලා.


එක Key එකක් තියෙන්නේ ඔයා ළඟ, අනිත් එක තියෙන්නේ VPN Server එකේ. මේකෙත් Private Key, Public Key කියලා වර්ග දෙකක් තියනවා. ඉතින් මේ සංකේත ටික දත්ත බවට පත් කරන්න නම්, මේ කියන Private Key එක ඕන වෙනවා.


ඉතින් ISP ළඟ වත්, Hacker කෙනෙක් ලඟ වත් මේ Private Key එක නැහැ. ඒක නිසා එයාලට මේක ඇතුලේ තියෙන රහස් පණිවිඩ ටික බළාගන්න පුළුවන් කමක් නෑ.


බැංකු, ලොකු ලොකු ව්‍යාපාරික ආයතන එහෙම මේ විදිහට තමයි දුර තියෙන එයාලගේ Server එක්ක communicate කරන්නේ. එතකොට එයාලගේ ගිණුම් තොරතුරු, ව්‍යාපාරික රහස් වගේ දේවල් හුවමාරු කරන විට කාටවත් දැකගන්න පුළුවන් කමක් නෑ.


ඉතින් දැන් තේරෙනවා ඇති ඇයි VPN එකක් භාවිතා කරද්දී අපි යන වෙබ් අඩවි block කරන්න ISP ට හැකියාවක් ලැබෙන්නේ නැත්තේ ඇයි කියන එක. එයාට අපි හුවමාරු කරන දත්ත මොනවද කියලා දැකගන්න විදිහක් නෑ.


මතක ඇති මම මුලින් කිවුවා දත්ත encrypt වුණත්, source IP Address එක සහ destination IP Address එක encrypt වෙන්නේ නැති බව. ඉතින් ISP ට තවමත් ඔයා connect වෙන්නේ මොන IP Address එකටද (VPN Server එකේ IP Address එක) කියන එක බලාගන්න පුළුවන්.


ගොඩ දෙනෙක් එකම IP Address එකකට දිගු කාලයක් සම්බන්ධ වෙලා ඉන්නකොට මේ ISP ට මේක VPN Server එකක IP Address එකක් කියලා අනුමාන කරන්න පුළුවන්. ඒ වගේම මේ IP Address අයිති කාටද කියලා බලන්න වෙනම ක්‍රම සහ විධි තියෙනවා. ඉතින් මේ විදිහට Public VPN Server එකක් කියලා තහවුරු වෙන IP Address ටිකත් මෙයාලා අවහිර කරනවා.

මේ විදිහට අප‍ේ Device එකේ සිට VPN Server එකට යන request එකේ Source IP Address එක වෙන්නේ ඔයාගේ IP Address එක. Destination IP Address එක වෙන්නේ VPN Server එකේ IP Address එකයි.


ඉතින් කලින් සඳහන් කළ විදිහට Server එකේදී මේ දත්ත Decrypt කරලා, Server එකේ සිට අදාල වෙබ් අඩවියට ආයෙත් request එකක් යවනවා. මේ යන request එකේ Source IP Address එක වෙන්නේ VPN Server එකේ IP Address එක වගේම, Destination IP Address එක වෙන්නේ අදාල වෙබ් අඩවියේ IP Address එකයි.


ඉතින් මේ විදිහට ඔයාගේ තොරතුරු අදාල වෙබ් අඩවිය දකින්නේ VPN Server එක පිහිටි රටේ සිට පැමිණි request එකක් ලෙස වන අතර මේ අනුව ඔබගේ සැබෑ IP Address එක පිටස්තර පුද්ගලයන් හට දැකගන්නට ලැබෙන්නේ නැහැ.


ඒ වගේම මතක තියාගන්න ඕන තවත් කාරණයක් තමයි, අර Passwords, Credit Card Numbers වගේ හැම තොරතුරක්ම VPN Server එකේදි decrypt වෙනවා. ඉතින් ඒ Server එක අයිති කෙනාට මේ දත්ත Save කරලා තියාගන්න වුණත් පුළුවන්.

මේ VPN Server එකේ සිට අදාල වෙබ් අඩවියට මේ දත්ත රැගෙන යන විට, අදාල රටේ ISP ට මේ දේවල් දැකගන්නත් හැකියාව තියෙනවා. Server එකේ සිට අදාල වෙබ් අඩවියට තියෙන connection එක ආරක්ෂිත නැතිනම්, ඔබගේ දත්ත තවමත් අනාරක්ෂිතයි.

1 Comments:

 

Subscribe to our Newsletter

Contact our Support

Email us: Support@templateism.com

Our Team Memebers